හිතට එන දේ මිසක
පිළිවෙලක් නෑ මෙමට
තාලයක් පමණක්ය
රැඳී අැති පැදි පෙළක
මගේ මිනිසුන් සොයා
කරදරද කම්කටොලු
කිසිදිනක නැත පැමිණ
සම්ප්‍රදායේ පිළිවෙලට
උගත් වියතුන් සිත
රැඳුණ සැලසුම් කුමට
අස්සයා පළාගිය
පාලු ඉස්තාලයට
------------------------------
සද්දෙ දැන් නවතන්න
ලමයිනේ අහගන්න
ඉස්කෝලෙ අරිනවා
“අනේ හරි ෂෝක්නේ“
මහා නායක් ගිහිං
වත්තෙ ලැයිමත් එක්ක
දෙයියනේ ඒ මොකද?
අනේ අපෙ අම්මා....
------------------------------------
කන්ද නුඹ
මහා පවුරක් විය අපට
අව් සුලං වැහි අකුණු
නුඹෙනි වැලකී ගියේ
ට්‍රැක්ටරේ කටුක හඬ
කැටපිලර් සෙන් රැගෙන
ඉඩම් සංවර්ධනය
රැගෙන අප වෙත ඇදින
මිහිතලය වියාලූ
මහ වියන් ජාලයම
මුලින් උපුටා දමා
වාසි පඳුරින් වැසිනි
----------------------------
මිහිමඩල සනාලන
හරිත පැහැ වන වදුල
කරණවෑමියෙකු අත
කැපී කෙටි වී ගියා
සොබාදම් මාතාව
රිදෙන්නට අනින ටොක්කක්
කොටට කැපු කෙස් අතර
කඳුලු එන්නට වැදුනි
ලේඬින්ද උකුණන්ද
සෘජුව ලද පහරින්
තැලී පොඩිවී යද්දි
වේදනා නොම දැනිනි
අනතුරක් ඇත ළඟම
කීය වගකිවයුත්තන්
උකුණන් කොහි යත්ද
තමන් සුරැකුණ...හිස.. හැර
----------------------------------
මළ කෑ ටකරං තහඩු
බත පිසූ වළං කටු
කැඩුණු ලී පුටු කැබලි
සුපුරුදු තැන නොමැත
හිස දෑත් නාවමින්
අලු පැහැති මඩ කරියෙන්
සොයයි තම නෑසියන්
කේඬෑරි කොලු පැටියෙක්
උදේ මා අවදිකර
කුඩා රොටියක් කර (ක)ර
බෙදා ලුණු මිරිස සමගින
තැබී හිස් කුස නිවාලන්ට
කහට පැල්ලම් ගැවුණු
සුදු හැර සියලු පැහැ ගත්
නංගිගෙ සුදු ගවුම
අන්දා ටයි පටිය බන්දා
පතා රැකවරණ මුරුගා
සුදු හුණු නළල තවරා
පාසැලට අප ඇරලවා
ඇය ගියා යලි පසු නොම බලා
මා දෑතින් ගිලිහි
ඒ දෑත යලි නොදුටිමි
මේ මහ කන්ද යට
කොතැන හෝ ඒ දෑත දැන් ඇති
කන්ද නුඹ නුඹේ
මව් තුරුලේ දියවී යද්දී
අපේ මව් නුඹ තුරුලෙ
පෙනී නොපනී ගියා
අහුමුලුත් තෙමි තෙමී
සීත හිරිකඩ වදිමින්
ගුලි ගැහී නිදන්නේ
........... කා ලඟද දැන්?
කෝවිලේ සීනු හඬ
ඇහෙන්නෑ වෙනද මෙන්
අහස අඳුරින් බරයි
හිතද ඊටත් බරයි
රොටී පුච්චා දෙන්න
අම්මෙ රිංගා එන්න
.............පස් අතරින්
තේමා සිතුවම නෙත් එෆ් එම් වෙතිනි. අදහස ජනිත කරවූ කළ්‍යාණ මිත්‍ර ට විශේෂ ස්තුතිය!
වල්ලා පට්ට...
ReplyDeleteවෙන කියන්ට දෙයක් නැත.. නැති කරන්න බැරි උන උකුණෝ ටිකයි ලේන්ඩි ටිකයි පව්..
කොණ්ඩෙ කපන්න කපන්න උකුණන්ට වඩා ලේඬියි වඳවෙන්නෙ මාතලන්.
Delete\\මගේ මිනිසුන් සොයා
ReplyDeleteකරදරද කම්කටොලු
කිසිදිනක නැත පැමිණ
සම්ප්‍රදායේ පිළිවෙලට//
මාධවී උඹ කියන හැම කවියක්ම සමත් උනා අපේ හදවත කීරිගස්සන්න. ඒ අතරින් ඉහත උපුටපු කවිය මහමෙරක් වගේ බරට දැනුනා. නායයාමට අමතරව ජීවිතේ අප අසන දකින විඳින සෑම ඛේදවාචකයකටම ඒක කොච්චරනම් අපූරුවට ගැලපෙනවද.
විශිෂ්ඨයි...ඒ තරමටම දුකයි..
මේ මිනිස්සු පුදුමාකාර තරං අසරණයි මනෝෂ්. උන් දුක්විඳින බව උන්වත් දන්නෙ නෑ. එහෙම බැලුවම අපි විඳින්නෙ සුර සැප. අහසේ වලාකුලු අතර ඉඳලා උන් දිහා බලාගෙන හූල්ලන්න පුලුවන් නම් ඒකත් ලොකු දෙයක්. මොකද සමහරුන්ට මේවත් වෙස් වලාගත් ආශිර්වාද නිසා.
Deleteසුපිරි එකට......... ඉස්සෙල්ල තියෙන එකට කීන්නේ මොකක්ද බං..... අන්න ඒක තමයි... ලියල තිබෙන ලියවිල්ලට කියන්නෙ .......
ReplyDeleteදුකින් පිරී තිබුන සිතට ...තවත් දුක වැඩි වුනත්....... පරිසරය විනාශ කරන කාලකන්ණි හැත්ත එක්ක ආව කේන්තිය නිසා දුක අමතක වුනා......
මෙහෙම අකුරු කොටන ...උයාගෙ ඇගිලි තවත් ලස්සන වෙන්න ඕනි .......
ස්තුතියි ප්‍රාර්ථනයට කෙන්ජි.
Deleteඒ කේන්තිය මමත් පිට කලානං වස් කවි තමා ලියවෙන්නෙ. කොහේ වුනත් ඉන්න මනුස්සයො කියා පිළිගැනෙන කොට්ඨාශයකට වත් එහෙම කරන්න හිතෙන්නෑ මට. ඒත් මේ යන විදිහට ඒකත් වෙයි වගේ.
/කන්ද නුඹ නුඹේ
ReplyDeleteමව් තුරුලේ දියවී යද්දී
අපේ මව් නුඹ තුරුලෙ
පෙනී නොපනී ගියා..../
කියන්න දෙයක් නෑ මාධවී.. ඊයෙත්, පෙරේදාත් දවස් දෙකේම මම හිටියේ ඔය සිද්දිය සිදුවුනු තැන.. අම්මලා නැතිව අඬන පොඩිඑවවුන්, ලමයි නැතුව අඩන දෙමව්පියන් ගේ විලාපය තාමත් හදවත ඇතුලේ දෝංකාර දෙනවා වගේ.. ආයේ නං කවදාවත්ම මේ වගේ විපත් ගැන අහන්න දකින්න නොලැබෙන්න කියලා තමයි කියන්න තියෙන්නේ....
ඔබේ නිර්මානය තුලින් මැවීපෙනෙන්නේ ඒ මිනිසුන්වමයි...
ඔය තැන්වලට ගිහාම හිතට එනදේ කියවෙනවා. ඒකයි බය!
Deleteඅන්තිමේ තැලෙන්නෙ අන්තිම අඩියෙ ඉන්න උකුණො ටිකයි ලේඬි ටිකයි.!!
ReplyDeleteප්‍රියා, මේක තමා තිත්ත ඇත්ත.
Deleteහුළං වැහි හමනවා
ReplyDeleteඅඹරවා තුරු මඩුළු...
ආණ්ඩුව කියනවා
දැනුං දී තියෙනවලු...
තව එකෙක් බණිනවා
අපි හිතනවා මදිලු...
දකින හැම එකාගෙම
ඇස් කෙවෙනි යට කඳුලු...
මුන්ගෙ අම්මා තවම
යෝධ පස් කඳු යටලු...
අපි තවම දන්නෙ නෑ
හෙටත් තව වහිනවලු... :'(
තේමාව සැපයූවාට පළමුව නැවතත් ස්තුතිය.
Deleteනිසඳැස මනරම් අරුත දුක්බර වුණත්.
උපාසකම්මා ????
ReplyDeleteකල් වැඩියි කියලා හිතුනා. පිට පිට තුන් සූත්‍රයක්ම කිව්වනෙ විදානෙ මහත්තයෝ.
Deleteමුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හන්දා,,,,,,,,,
ReplyDeleteහ්ම්...
Deleteසම්ප්‍රදායට , සාමාන්‍ය පිලි ගැනීමට. වෙනස්, තැන් කිහිපයක් පෙනි ගියා.
ReplyDelete"කරදරද කම්කටොලු
කිසිදිනක නැත පැමිණ
සම්ප්‍රදායේ පිළිවෙලට"
( සාමාන්‍ය අදහස නම් ,මේ අය කරදර ගොඩක ජිවත් වන බවයි)
"කන්ද නුඹ
මහා පවුරක් විය අපට..."
( පිට අයට පෙනෙනුයේ , කන්ද මහා භයන්කාර, විපත්තිදායක දෙයක් ලෙසය )
"පතා රැකවරණ මුරුගා
සුදු හුණු නළල තවරා..."
"කෝවිලේ සීනු හඬ..."
( සාමාන්‍ය අයත් දැක අසා ඇති මුත්, මේවා පෙනෙනුයේ දැනෙනුයේ කවියන්ට ම පමණි.)
"අන්දා ටයි පටිය බන්දා..."
( මේ පරිසරයේ පොඩි ගැහැණු ළමුන් -නංගි - පාසලට ටයි පටි බැදීමක් තිබිය හැකිද ? නොහැකි බවක් හැගේ. දැක මතකයක් නොමැත. )
මේ වගේ කරදර එන්නෙ කලින් කියල සම්ප්‍රදායිකව නෙවෙයි.
Deleteකන්ද සමග ජීවත් වෙන මේ මිනිස්සු කවදාවත් එහෙම බයවෙන්න නෑ තමන්ව යටකරගෙන යනතුරුම.
සුදුහුණු, කෝවිලේ සීනු හඬ සහ දමිල විදුහල්වල කුඩා ගෑණු ළමයි ටයි පටිය බැඳීම මම නම් බොහොම වෙලාවට දැක තියෙනවා.
මේක මේ කියන ස්ථානය අවට ජන ජීවිතය හැදෑරීමෙන් පසු කල නිර්මාණයක් නොවෙයි. මෙහි අරමුණ මිනිසුන් තුල සිටින සංවේදී මිනිසා අවදි කරවීම සහ මෙවැනි සිද්ධි තවත් එක් ප්‍රවෘත්තියක් හෝ මළ මිනී ගණන් කිරීමේ ව්‍යාපෘතියක් නොවන බව ඒත්තු ගැනවීම.
ඔබගේ අදහස මම ඉතා අගය කරනවා ප්‍රින්ස්. නැවත මේ පැත්තෙ එන්න. ස්තුතියි.