2014-11-04

උපාසකම්මා


හිමිදිරියෙම අවදිවෙලා
මැදගත් සුදු සලු පොරවං
මල්ල අහුරලා අරගෙන
යන්න හදනවා...
...සසරින්, යන්න හදනවා

කොට්ටේ යට සැඟව තිබුණු
පසුම්බියෙන් මුදල් ඇරං
ආයි ගැනල ආයි නවල
අහුර ගන්නවා...
...යනතැන අරගෙන යනවා


පොඩි එකාට මගේ ඇඳේ
නගින්න හෙම දෙන්න එපා
අල්මාරිය වහල ඇත්තෙ
යතුර මා ළඟ...
...ලමයෝ, හවසට දෙන්නං



පොල් කඩන්න ආවොත් හෙම
හවසට එන්නැයි කියන්න
මල් කඩන්නටත් තියෙනව
ඕං මං ගියා
...ඔන්නොය දොර වහගල්ලා

........................................

දවස පුරා සිල් අරගෙන
හැන්දෑවට ගෙදර එද්දි
වත්තෙ පහල කොල්ලො ඇතොත්
මලත් පනිනවා...
...මදිවට, මලුත් කඩනවා

“බොලං කෙල්ලෙ මෙහෙට වරෙං
මං කියලා නැද්ද උඹට
එක එකාට එන්න දෙන්න
එපාය කියලා...
...එළවා ගන්නට කියලා“

“මගේ සේසතම හූරං
එක එකාල ගෙනියනකං
උඹත් ඉඳිං බුදියාගෙන“
කණෙං අදිනවා... 
...මදිවට, ටොකුත් අනිනවා

දන්නවාද ලමයො වැඩක්
දනෝරිස්ගෙ ලොකු කෙලීට
බැඳලත් නෑ අප්පෙක් නැති
බඩක් හැදීලා...
...ඔව් බොල, වමනෙත් යනවා

සිරිපාලගේ කෙල්ල හිටිය
හෝල්ට් එකේ කොල්ල එක්ක
උන්ගේ කෙලි බස් එකෙදිනෙ
දෑහිං දැක්කේ...
...නොදකිං, ඉඹිනව දැක්කා

අනේ පුතේ ලබන මාසෙ
අටමස්තානේ වඳින්න
කීයක් හරි දුන්නෝතිං
ගොහිල්ල එන්නං...
...උඹටත්, පිං සිදුවෙයි බං

වන්දනාවෙ ගිහිං එන්න
පොල් විකුණපු සල්ලි ඇතිනෙ
මේ ටිකේම අමාරුවෙන්
මමත් දුවන්නෙ...
...අම්මේ, ණයත් කැපෙනවා

උඹලානං ඔය ගෙවන්නෙ
පූරුවෙ සසරේ ගත් ණය
පොල් විකුණපු සල්ලි
අලුත් පිළිමෙට දුන්නා...
...ඒකේ, නමත් කොටනවා

24 comments:

  1. ඊයේ හිටං බලන් උන්නෙ
    මේක මොකෙයි හංග ගත්තෙ
    දැන්නං වැඩ ඉහටත් උඩ
    රස විඳින්න ආයෙ එන්නෙ
    ... ඔව් ඔව් මං ආයෙ එන්නෙ :D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එය හංග ගත්තෙ
      විරාමයක් පමණි ගත්තෙ
      වැඩ කටයුතු අහවර වී
      ඇවිල්ල යන්න...
      ...ඔව් ඔව් ආයෙත් එන්න

      Delete
  2. හිස් බස් , මුසාබස් නොතෙපලන බව හඬගා පවසන්නේ
    දහවල දන් වේලෙන් පසුව, ඒවා නැහැ සිහිවෙන්නේ
    රසකර, තළුමරමින් සම්ප්‍රප්ඵලාප දොඩවන්නේ
    පිං කියා සිත සිතා, අකුසල්මයි ‍රැස් කරගන්නේ

    තැන තැන කසුකුසු දම්රස වෙනුවට කුණු රසයකි වින්ඳේ
    තව තැනක සැදැහැවත් උවැසියෝ පිරිසක් මර නින්දේ
    උපාසක අම්මලාගේ හඬ, බණපදයෙහි ස්වර බින්ඳේ
    බුදුබණ මෙනෙහි කර, දම් දෙසන්නේ කාටද හිමි සමින්දේ

    අත්තම්මා හවසට එන්නේ පිංබර උවැසියක වෙස් අරගෙන
    වැට මායිමේ ගස දු‍ටුවම උවැසිය පැනයයි සිලුත් බිඳගෙන
    කාටද යකෝ ඉඩ දුන්නේ යන්නට කොස්ගස හූරගෙන
    තොපි සේරම නැති කරනවා, මගේම තැන ඉදගෙන
    ...............................................................

    සිල් ‍රැකුමට ගියත් පංසල්, නැහැ බණපද ඇසුණේ
    තණ්හා , ආශා දෙපස ‍රැඳී කුසලට බාධා කෙරුනේ
    බැඳී සිටියොත් ඔය ලෙස, තණ්හා , ආශා දැහනේ
    උවැසියේ නුඹ කවදා සැනසෙන්නද නිවනේ

    ReplyDelete
    Replies
    1. මෙතරම් හැකියාවක් ඇති ඔබ ඇයි දැන් නොලියන්නේ
      සඳරු නමක් ගැවුණත් ඇති සුන්දර අදහස් එන්නේ
      මං කියනා හින්දාවත් යලි කව් පද බඳිමින්නේ
      අවිවේකී සිත් සනහා ලියනා ලෙස අයදින්නේ

      Delete
  3. ඔබේ පදවැල් ලස්සණ යි :) මෙහේට ගොඩ වුණ මුල් ම වතාවේ වැරැද්දක් පෙන්වා දෙනවාට අමනාප වෙන්ට එපා. නමුත් "කුමක් නැතත් තාලය ඇත" ලෙස යොදාගෙන තියෙන වදන් පෙළ වැරදි යි. තාලය යනුවෙන් අදහස් කරන්නේ ගීතයක් සඳහා තබ්ලාව වාදනය කරන ආකාරය! යොදා ගත යුතු නිවැරදි වචනය වන්නේ "තනුව" යන්න යි. හැකියාවක් තියෙනවා නං එය වෙනස් කරන්න. නැති නං ඔබ අදහස් කරනවාට වඩා හාත්පසින් ම වෙනස් අදහස් ලැබේවි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! පිළිගන්නවා සාදරයෙන්. අදහසත් ඉතාම අගය කරනවා.
      පොඩි ප්‍රශ්නයක්...තාලය යනු තබ්ලා වාදනය නම් තබ්ලාව නොමැති ගීත ගැන කියනවිට කුමක්ද යොදන්නෙ? ඇත්තටම දැනගන්නයි අහන්නෙ. මම සංගීතය ගැඹුරෙන් හදාරලා නැහැ. තාලය යනු මාත්‍රා යෙදෙන ආකාරය නොවෙයිද?
      කොහොම වුණත් ඔබට ගෞරවයක් වශයෙන් vision එක වෙනස් කලා. “තනුව“ කියන එක යොදලා ඒක හදනවට වඩා දැන් තියෙන විදිහ හොඳයිද බලන්න. නැවතත් ස්තුතියි. ඔබේ අඩවියටත් ගොඩවැදුනා. ඇයි දැන් නොලියන්නෙ?

      Delete
    2. හය්යෝ ....! හයියෝ....... !!
      ගෑල්ලමයෙක් කියපු පලියට ඔහොමත් නම් වෙනස් කරනවාද ?
      බොහොම කැතයි... !, බොහොම කැතයි...... !!

      "තාලය ..." තමයි , මේ blog එකේ කවිවල දැනෙන විශේෂත්වය.
      අර බජට්ටුව කවිවල , නීරස වචන සංකල්ප ගොඩකට මැදිව , ලස්සනට තාලය පවත්වාගෙන ගොස් තිබුනා. මම ඒ බව විශේෂයෙන් සඳහන් කළා.

      තබ්ලාව හා තාලය අතර සම්බන්දය පිළිබඳව මේ සන්ගීතවේදිනිය ගේ අදහස නිවැරදි වෙන්න පුළුවන් .ඒ වුනාට තබ්ලාව ඇතා, නැතා, අපේ ඇගට දැනෙන්නේ කවියක ගීතයක තාලය නේ.
      අමුතු සිතුවිලි තියෙන අය, කාව්‍ය ලියන්න පුළුවන් අය ඕනා තරම් ඉන පුළුවන්, සිංහල blog ලෝකයේත් ඕනා තරම්, ඒත් තාලය ඇගේ තියෙන අය, අනෙක් යටත් දෙන්න පුළුවන් අය හමු වන්නේ බොහොම කලාතුරකින්.
      (අකාලයේ මියගිය, ලගදී සැමරුණු කතා බස් වුනු, ප්‍රේමකීර්ති එවන් අයෙක් )

      සම්ප්‍රදායුනු සිතිවිල්ලට (කව්රුත් හොඳයි කියන, කාටත් පිලි ගත හැකි, කාටත් එකග විය හැකි ..) වෙනස් "අමුතු සිතිවිල්ලක් " තවම නම් පෙනුනේ නැහැ.
      මේ උපාසකම්මා 'කාව්‍ය සංග්‍රහය ගැන මට නම් අමුතු විවේචනයක් තිබෙනවා. එය තව ටිකක් පසුවට.
      ප/ලි
      ( බජට් කවි අයින් කිරීමට...., අවසානයට තිබු මගේ කමෙන්ටුවත් බල පෑවාදෝ.... කියා කුතුහලයක් තිබෙනවා )

      Delete
    3. කිසියම් ගීතයක් සඳහා තබ්ලාව වාදනය කරන ආකාරය තමයි "තාලය" විදියට හඳුන්වන්නේ. එම පද වැල් ගායනා කරන ආකාරය "තනුව" වුණත් බොහෝ දෙනා එය දන්නේ නැහැ. අපි කියනවා නං "මට ඒ සිංදුවේ තාලය මතක නැහැ" කියලා එයින් අදහස් කරන්නේ ඒ ගීතය සඳහා සංගීතය සපයන විට තබ්ලාව වාදනය කරන ආකාරය මතක නැහැ කියන එක. නිවැරදි ව කියනවා නං අපි කිව යුත්තේ "මට ඒ සිංදුවේ තනුව මතක නැහැ" කියල යි. මම පෙරදිග සංගීතය ගැඹුරින් හදරා නැති වුණත් මා සතු ව ඒ පිළිබඳ ව යම් දැනුමක් තියෙනවා. ඇත්තෙන් ම මගේ විෂයය වන්නේ බටහිර සංගීතය!

      Delete
    4. ප්‍රින්ස්,
      ගෑල්ලමයි මේ ඉසව්වෙ කතා කරන්නෙ අඩුවෙන්නෙ. එයාලගෙ අදහස් වලටත් ගරු කරන්න එපායැ නේද? කොහොමත් මාත් හොයල බැලුවා, ධාරා කියන එක හරි. ඔබේ කමෙන්ටුව සහ ඊට පසු ලැබුණු තවත් එකකින් මට හිතුනා මම මධ්‍යස්ථ මදිද කියලා. පසුව සංශෝධනයක් සමග පළකරන්නයි ඉන්නෙ.

      @ධාරා,
      දැනුවත් කිරීම ගැන ස්තුතියි. ඔන්න කලා වෙනසක්!

      Delete
  4. අපේ ගමේ ගෑණු සිල් පාවාරනය කරලා යන වෙලාවට මට හිනා යනවා පොඩි කාළේ ඉඳලම... මොන හේතුවකට මන්දා..

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න මාතලං, සින්ඩියෙ ලින්ක් එකේ පෝස්ට් එක සංශෝධනයකින් පසු නැවත දමන්නම්.
      සිල් නෝනලට පොඩි අය පේන්න බෑ. ඒ වුණාට තමන්ට දානෙට ලැබෙන දෙයක් ඔතාගෙන පොඩි දරුවන්ට ගේන උපාසක අම්මලත් නැත්තෙම නෑ.

      Delete
  5. සිල්ගත්තට සසර අල්ලන් ඉන්න එක තමයි අපේ බහුතරය කරන්නේ ..... මොනවා වුණත් කවිය නම් නියමයි... අගේ ඇති කතාව

    ReplyDelete
    Replies
    1. ඔව්, සසර අල්ලන් තව සුර සැප දෙන ආත්මයක් දෙකක් ඇදලම තමා නිවන් යන්න හිතන්නෙ. කවුරු මොනවා කිවුවත් සත්ත්වයා සසරට ඇලෙන බවට බුදුන් කී කතාව හරියට හරි.

      Delete
  6. මාධවීගේ මේ පෝස්ට් එක රෝලෙ අප්ඩේට් වෙලානම් දෙතුන් දොහක් උනා. ඒත් අදයි එන්න පුලුවන් උනේ.

    අපේ උපාසකම්මලාගෙ නොතේරුම්කම කියලවත් හිතමු මාධවී. උන්දැල ඔය සිල් ගන්නෙ යහපත් පුරවැසියකු විදියට ජීවත්වීම අරමුණුකොටගෙන නෙවෙයි. අපායෙ යන්න තියෙන බයට! වෙන මොකකටවත් නෙවෙයි, බයට. හිතන් ඉන්නෙ ඒක කොරපුවම සියලු පවු හේදෙනව කියලයි. ඒකයි ඔය වාඩිවෙලා පඩ ඇර ඇර සාදු කියන්නෙ.

    ReplyDelete
    Replies
    1. මම බැලුව ඒත් කෝ කියලා :D
      ඒක වැරදිලා පළවුණේ. මම කියවලා මිසක් බ්ලොග් ලියලා පළපුරුද්ද නැති නිසා, පොඩි පොඩි වැරදි ගොඩක් වෙනවා. එදා ‘උපාසකම්මා‘ කල් වැඩියි කියලා හිතුනා.
      වයසට යනවිට මරණ බය සමග එන දෙයක් මනෝෂ්, ඊළඟට යන ලෝකෙට උපරිමයෙන් දෙයක් කරගන්න හදන්නෙ ඒකයි. සිල් ගැනීමේ ගැටලුව තියෙන්නෙ උදේටයි හවසටයි, සිල් නොගත් අයට.

      Delete
  7. අදයි මේ පැත්තට ගොඩ වුනේ..

    ලස්සනයි කවි ටික..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා, ඔබ වැනි ප්‍රවීණයින්ගේ අදහස් බලාපොරොත්තු වෙනවා දිගටම. ඒ පැත්තෙ එන්නම්. ස්තුතියි!

      Delete
  8. දෝත නළලත තබා හිටගෙන
    මේරි අම්මා වඳිනවා
    ගාථා කියමින් වඳිනවා
    ආයෙමත් බිම බලනවා
    පුංචි නෝනගෙ පාවහන් දෙක
    බැබළෙමින් බිම තියෙනවා

    පුංචි නෝනා සුදෝ සුදුවට
    මලුත් අරගෙන තෙලුත් අරගෙන
    හිමින් ගල් පඩි ගණන් කරගෙන
    වෙහෙර මළුවට නගිනවා
    ඇගේ රන්වන් පාවහන් දෙක
    කන්ද පාමුල තියෙනවා

    නිවන් යන දා පුංචි නෝනා
    නිවන් දොරකඩ ළඟට වීලා
    ඇගේ රන් මිරි වැඩි දකින හැටි
    මේරි අම්මා හිතනවා
    හිතේ බුදු සිරි පතුල ඇදගෙන
    හිතෙන් පැදකුණු කරනවා

    මේරි අම්මා වඳිනවා
    ගාථා කියමින් වඳිනවා

    පද - රත්න ශ්‍රී විජේසිංහ
    සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
    ගායනය - මාලනි බුලත්සිංහල

    ReplyDelete
    Replies
    1. වියපත් දෑසින් තුරුණු ලොව දැකීම කිව්වොත් හරිද සින්දු?

      Delete
    2. එහෙම හිතන්නත් පුළුවන් ,,,ඇති නැති පරතරය වෙන්නත් පුළුවන් ...
      මොකක් උනත් මට මතක් උනේ අපේ ගමේත් ඉන්නවා නියම උපාසකම්මා කෙනෙක් .
      හතර පෝයටම සිල් ගන්නවා .හැම වෙලාවේම බණ ම තමයි .දවසක් එයාලා ගෙදර ලගින් යද්දී මෙන්න මේ ගැනි කෑහනවා සර්පයෙක් ඇවිත් කියලා .අපිත් ගියා .බලනකොට පොළගෙක්. ඒ පාර මෙන්න මේ ගැනී කියනවා "ඔලුවටම ගහපන් චුටි පුතා ඔලුවටම ,නැත්නම් මැරෙන්නේ නැ.අයෙත් ගෙට රිංගයි .මැරෙන්නම ගහපන් .අනේ මට බලන් ඉන්න බෑ මම හතර පෝයටම සිල් ගන්නවා.මේ මොන පව්කාර වැඩක් ද මේ කියලා " .හැක හැක්

      Delete
  9. ඔන්න ඔහේ ඕන දෙයක් කරගත්ත දෙන් ම.මා :D එදාටවත් පොඩි සිල් සැපක් ගන්නවා ඇතිනේ.

    ReplyDelete
    Replies
    1. මමාත් වයසට ගියාම සිල් ගනියි ඔය කිව්වට. මං කලිං කිව්ව වගේ පොඩි උන්ට දෙයක් ගේන උපාසකම්මලත් ඉන්නවා.

      Delete
  10. පෝයට සිල් අරන් උදේ ඉදන් පේවෙලා රටේ නැති ඔපාදූප ටික හවසට ගෙදර අතාරින උපාසක අම්මල ගමට රටට වාසනාවන් :v

    ReplyDelete
    Replies
    1. පෝය දවස මාසික ඕපාදූප සඟරාවක් වගේ.

      Delete