2015-05-01

සැම සිත් පහන් සේ ආලෝකමත් වේවා!


ලක්දිව ඔබ සසුන සුරැකෙයි දිවැසෙ පෙනී
පන්සහසක් වසක් පවතී දෙසු හෙයිනී
හිමියනි මතු වෙසක් පෝ දින සෘද්ධියෙනී
එහි වැඩියෙමිය සිඟනෙකුසේ වෙස් ගමිනී


මුගලන් ඔබේ ඔය හිතුවක් කාර කම
නිමවී නැති බවයි කිව හැක්කේ තවම
විශ්වයෙ කොනටගොස් හිරවුණු විටදි මම
බේරාගෙන මසක් වත් නෑ නොවැ තවම

සමාවුව මැනවි හිමියනි වරද මගේ
කුතුහලයෙනි ගියේ එදිනත් නුහුරු මගේ
එනමුත් මෙදා දුටු දේ නම් සිතට මගේ
පිළිතුරු නොමැති මහ වියවුල් රැසක් වගේ

ඉබාගාතෙ විශ්වයෙ කොන වෙත යාම
වගේ නොවෙයි ලක්දිව වෙත ගොඩ බැසුම
එය වෙන්නත් තිබුණි නිවනට පිවිසීම
කම් නැත පවසනුව ඔබ දුටු සැම දේම

බුදුරැස් වණින් හතරැස් වූ හැඩය ගෙන
තීරු තීරු එක පෙළටම තැන නොතැන
පන්සල් බෝ රුක්ද මහ මග සෑම තැන
ලනුවල තිබුණේය බුදුරැස් එල්ලෙමින

එම්බා එයම සතුටකි මොග්ගල්ලාන
බුදුරැස් ලක් දිවේ දිස්වෙද සෑමතැන
එනමුත් මෙමට ඇත්තේ පැනයකි මෙතැන
විහිදෙනු මිසක බුදුරැස් කිම එල්ලෙමින

බුදුරැස් රැගත් කෙවිටකි රථ නවතන්නේ
භෝජන ගිලන්පස ගෙන පිළිගන්වන්නේ
නොපිළිගත්තොතින් අරුමෙකි සිදුවන්නේ
අසා නොමැති ගාථාමයි කියවෙන්නේ

මුගලන එයද සතුටක්මයි දනවන්නේ
අනේපිඬුට අනේ කියා කියවෙන්නේ
එහෙමයි ලක්දිවේ මිනිසුන් දන් දෙන්නේ
එනමුත් ඇයිද අර ගාථා කියවන්නේ

සිඟා පිඬු සුඟක් මා දන්සැල් වෙතට
ගියමුත් ළඟාවිය නොහැකිය ද්වාරයට
කෙවිටේ රැස් නොමැති කෙළවර ගෙන පෙරට
දන්දෙන්නෝ බැට දෙන්නට එයි පෙරට

සිඟනුන් හට දන් දෙනු වෙනුවට කෙරෙන
පුලනුන් හට දීම වැඩියෙන් පින් ලැබෙන
මා නොදෙසූ මුත් මේවා කිසිම දින
අනුගාමිකයො පිළිපදිනා බව පෙනින

හිමියනි බොජුන් වළඳන සැම සියලු දෙනා
අඩක් වළඳමින් ඉතිරිය ඉවත ලනා
එහැම ගොසින් කසල බඳුන් වෙත වැටෙනා
එතැනින් ගොසින් නැවතත් වලකට වැටෙනා

මුගලන ඔබ නොදුටු තව දෑ ඇතැයි පෙනේ
සවසට එ‘වල වසනා වන බව නොම පෙනුනේ
කෝටි ප්‍රකෝටිද ගණනින් පස යටිනේ
ප්‍රාණින් වෙසේ උන්ටයි ඒ දන් දෙන්නේ

දන් සැල් කරා එන පුලනුන් රැස බොහෙමයි
ඇතැම් තැනක පෙළ දිග ඇදහිය නොහැකියි
බොජුන් හිඟය මෙතරම්නම් විය නොහැකියි
හිමියනි එයට හේතුව නොදනිමි පුදුමයි

තම නිවහනේ හැම දිනකම බතද පිසෙයි
එනමුත් දිනපතා ඒ බත කනු නොහැකියි
ඉඳහිට දිනෙක පිටතින් කෑමද යෙහෙකියි
මුගලන එහි වරද කිම එය මට නෙපෙනෙයි

ඇතැම් තැනක මහ දන්සැල යන නමින
පුවරුත් ගසා ඇත මහ පළලින් දිගින
කිසිවක් බෙදෙන බවකුත් නම් නොම පෙනින
කොලුවන් සිටී මැහි පිට හිඳ කතාවෙන

මහ දන්සැල ලෙසින් පුවරුව යොදාගෙන
ඇරඹූ මුත් පැයකින් සැම ඉවරවෙන
දන්සැල් ඔය කලට නොහැකිය මෙකල මෙන
දෙකෝටියකි එහි වළඳන්නම  සිටින

මෙනුවර සැම දිනේ දන්සැල් සිඟනුන්ට
මතුකල එම පුරේ එක දිනයකි එයට
එදිනත් සිඟන විලසින් එහි ගිය මෙමට
එන්නට වීය කිසිවක් නොමැතිව  කුසට

දන්දෙන්නාට දිනයක් වෙන්කර තැබුම
එයිනුත් ලැබිය යුත්තන් වෙන්කර තැබුම
එයිනුත් ශ්‍රද්ධාව නොමැතිව දන්දීම
රැකෙනා දෙසෙහි හැටි මෙහෙමද බුදු දහම

෴ මධුමාධවී ෴

(සිතුවම මදාවියාගෙනි)


41 comments:

  1. එසේම වේවා කියා පතමි.!!!

    ------------
    බුදුන්ට ආපහු නිවන් දකින්න හිතෙන්න ඇති නේද මෙහෙ සිද්ධ වෙන ධාර්මික අටමගුල් දැකලා ...?

    ReplyDelete
    Replies
    1. බුදුන්ටත් දැන්... දෙවියන්ගේ පිහිටයි!

      Delete
  2. මුගලන් හාමුදුරුවො විශ්වෙ කෙලවර හොයාගෙන වැඩියට, අනාගතේට නොවැඩියේ වෙලාවට ..නැත්තන් බුදු දහම පිහිටන රටේ හැටි 5000 න් බාගෙකදිම බලාගන්න තිබුනා...අනේ ඇත්තට බුදු හාමුදුරුවො කාලෙ හරහා යන එක ගැන් මොකුත්ම සදහනක් කරලා නැති හැටි...මෙලෝම දෙයක් නෑනෙ..සුද්ද කියපු ඒව තමයි දැන් ඇත්ත..

    ReplyDelete
    Replies
    1. විශ්වයේ කෙළවර සොයා යාම කියන්නෙත් එක්තරා ආකාරයකට කාලය හරහා යාමම තමයි නේද?

      Delete
    2. එතකොටත් කාලෙ හරහා යනව තමයි දැනුත් යනව...පැයට විනාඩි 60ක වේගෙන් අනාගතේට..ඒත් කලේ හරහා යන්න හිතනවා කියන්නේ එයිට වඩා වෙනස් වේගෙකින් යනවා කියන එකනේ..කලු කුහරෙකට වගේ අහුවුනොත් යන්න පුලුවන්(worm whole time travelling as it says!!)

      Delete
  3. ඇත්ත කතාවක් මධු

    ReplyDelete
    Replies
    1. ඇති යාන්තම් නේද?

      Delete
  4. ලියාපිය ඕවට සල්ලි එකතු කරන්න එන එවුන් ගැනත්, එකම දන්සලට හත් අට සැරේ සල්ලි එකතුකරන , එකතුවෙන ගානෙන් දහයෙන් එකකින් දන්සල දීලා ඉතුරු ටිකෙන් රෑට බොන ශ්‍රද්ධාව

    ReplyDelete
    Replies
    1. දහයෙන් එකකින් රෑට බිව්වනම් තව ඉවසන්න තිබ්බා...නැද්ද මං අහන්නෙ?

      Delete
  5. තොරණ් ගහපිය කූඩූ බැඳපිය මූණූ දාගෙන මෙහෙ වරෙල්ලා
    බලුබ් දමපිය දනට දීපිය කොඩිත් ඇද පීකර් දමල්ලා
    ඩෙනිම් ගහපිය කැප් දමාපිය ස්කිනී ගහගෙන මොඩ් වෙයල්ලා
    පාරේ නටපිය දෙකක් දාගෙන ප්‍රීතී වෙසඟක් ඇත ඇවිල්ලා

    දෙරණ පාළන මැති දනන්ගේ අන්ධ වූ නෙත් විවර වේවා
    බයිල ගසනා පඬිවරුන්ගේ මොට්ට මොලයට නුවණ ඒවා
    මෝහයෙන් දන මුළා කරණා හොර සඟුන් දෙවියෝ රකීවා
    දන්න අයටත් නොදත් අයටත් ප්‍රීතී වෙසඟේ සෙත්ම වේවා

    ReplyDelete
    Replies
    1. දෙරණ පාලන මැති දනන් නැත් දනන්ගේ නෙත් විවර වී නම්
      බයිල ගසනා පඬිවරුන් නැත දනන් නුවණැස අවදි වේ නම්
      හොර සඟුන් මේ ලොවෙත් නැත ගිහි පින්වතුන් යහ කල් ගෙවයි නම්
      සැම දෙනාටම සෑම දිනයම වෙසක් දින ලෙස හැඟී යා නම්

      Delete
  6. ලංකාවෙ භික්ෂූන් දේශපාලනය කරකර රොටී කරකරගෙන ඉන්න හැටි දැක්කනම් බුදුහාමුදුරුවො පාරිලෙයිය වනයෙම ඉන්නවා.1956 ඉදන්ම සෝමාරාමල බුද්ධරක්ඛිතල ගෙ පරම්පරාවෙ ගනරාලල කරන මගෝඩි වැඩ සිහිවෙලාද දන්නෙ නෑ බුදුවූ විගසම ධර්මය දේශනා නොකරන්න හිතුවෙ.
    නෑ ස්වාමිනි ධර්මය තේරුම් ගත හැකි අයත් ඉන්නව කියල ආරාධනා කළාට බ්‍රහ්මයත් උඩුකුරුඤ්ඤං ගහනව ලංකාවෙ ගනගෙඩියන්ගෙ වැඩ දැක්කනම්

    මේ ඊයෙ පෙරෙද පොලීසීයෙන් කදුලු ගෑස් පාර කාපු අන්තරේ ගනගෙඩි දැකල එතන හිටපු අය ( සේරම බෞද්ධයො බව පුද්ගලිකවම දන්නව ) කිව්වෙ මුන්ගෙ සිවුර විතරයි වෙන මහන කමක් නෑ . මුන්ට දානෙ දෙන එවුන්ටත් හෙන ගහනව කියල.

    ReplyDelete
    Replies
    1. කෑල්ලක් මිස් වෙලානෙ . එතන හිටපු අය කිව්වෙ ඔය සිද්ධිය බස් ටෑන්ඩ් එකේ හයිකරල තියන ටී වී එකේ පෙන්නද්දි එතන හිටපු අය.

      Delete
    2. මහණකම තුල දැන් ඇත්තේ රොටී කරකරගැනීමම පමණක් බවනම් සත්‍යයක්. තරුණ මහණුන් ඉගෙනගෙන සිවුරු හැරීමත් වැඩිහිටි මහණුන් දේපල රැස්කිරීමත් පමණක් සිදුවේ.

      Delete
  7. වඩාත් සුදුසු දේ වන්නේ මේ විප්‍රකාර බුදු දහම ලෙස වරදවා වටහා නොගැනීම සහ තමන්ගේ බුද්ධිමත් ප්‍රතිපත්ති රකිමින් මෙවැනි දේට දායක නොවී සිටීමයි.

    ReplyDelete
    Replies
    1. ආමිස පූජාවලටනොවැ ගිහි පැවිදි සැම ප්‍රිය...

      Delete
  8. දේශපාලන කටයුතුවල නියැලෙන බැරියර පෙරලන පෙළහර පාන ආන්ඩු පෙරලන රොටී කර කරගන්නා අය භික්ෂුන් ,ස්වාමීන් වහන්සේලා , හාමුදුරුවරු ලෙස හැදින්වීමෙන් සැරියුත් මුගලන් මහතෙරවරු පෙරටුකොටගත් ආර්ය මහා සංඝරත්නයට අපහාස වන නිසා දේශපාලනය කරන කහ සිවුරුධාරීන්ට අප්පුහාමිලා කියා කියමුද
    මෙය රැවුලත් කැදත් දෙකම බේරීමකි.

    ReplyDelete
    Replies
    1. අප්පුලා මෙන් නොව අප්පුහාමිලා යම් ගරු කටයුතු පිරිසක් නොවැ.

      Delete
  9. නියමයි.. වෙසක් දැන් ආගමික උත්සවයකට වැඩිය ආදායම් උපයගන්න අවස්ථාවක් වෙලා ඉවරයි..

    ReplyDelete
    Replies
    1. සියල්ල වාණිජකරනය වීමේ ප්‍රතිඵල.

      Delete
  10. 2500 පහු උනා.දැන් ඉතින් රුවිතෙටම තමයි.මේ වෙනදේවල් දිහා බලන්න ඕනෙ ඔය කියන 'මහා කරුණාවෙන්' සහ උපේක්ෂාවෙන් මිසක් නැත්තන් නම් අපටත් සොරි වෙනවා.මධුමාධවී ඇස් පාදන වැඩක් ලස්සනට කරලා..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම මේ පිරිහීමේ අවධිය.
      ගස්ලබ්බ මේ පැත්තට වැටුනමයි නේද? සාදරයෙන් පිළිගන්නවා!

      Delete
  11. මෙන්න අපේ මදාවියා සිල් අරගෙනෝ....

    බුදු හාමුදුරුවො අදකාලෙ බැරිවෙලාවත් මේ රටට වැඩියොත් දෙකක් නෑ සිවුරෙන් බෝ අත්‍තක බෙල්ලෙ වැල දාගන්නවා.

    ReplyDelete
    Replies
    1. මෙහේ දාගන්නෑ. එහෙම වුනොත් ඒකත් මාකට් කරනවා. ඒ නිසා පාරිලෙයිය වනයටම යයි.

      Delete
  12. මේ ඉතින් අබුද්දස්ස කාලේ නේ??

    ReplyDelete
    Replies
    1. ලබු පමණක් නොව සියල්ල තිත්තය.

      Delete
  13. //එයිනුත් ශ්‍රද්ධාව නොමැතිව දන්දීම
    රැකෙනා දෙසෙහි හැටි මෙහෙමද බුදු දහම//

    ++++++++++++++

    ReplyDelete
    Replies
    1. රැකෙනා දෙසෙහි මෙසේනම් අනෙක් දෙස් හි කවර කතාද?

      Delete
  14. දන්සල් කාරයෝ ටික උඔට අල්ලගෙ ගහයි...

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා දන්සැලක් දෙනවද?

      Delete
  15. දැන් තියෙන්නේ මොඩ් වෙසක්නේ.නියම කවි ටික මධුවෝ.

    ReplyDelete
    Replies
    1. මොඩිෆයිඩි වෙසක්!
      ආයුබෝවන්! සාදරයෙන් පිළිගන්නවා මධුමාධවියට!

      Delete
  16. සම්පුර්ණ ඇත්ත. කවි ටිකනම් සුපිරි.
    ඔබගෙත් සිත් පහන් වේවා!!!

    ReplyDelete
    Replies
    1. සැම සිත් පහන් වේවා!
      ස්තූතියි මනා!

      Delete
  17. වෙසක් උත්සවය කියන එකෙන්ම පැහැදිලි වෙනවනෙ දැන් තියෙන්න සාමාන්‍ය විදිහට සමරන උත්සවයක් කියලා...

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය විදිහට සමරනවානම් කමක් නෑ. එදාට විතරක් මිනිස්සු අමුතු වෙන එකයි ප්‍රශ්නෙ.

      Delete
  18. බුදු හිමියන්ටත් කළියුගයේ
    දෙවියන්ගේ පිහිටයි...
    බුදුන්ටත් දෙවියන්ගේ පිහිටයි...
    පරවුණු මල් දැක නිවුනු පහන් මැද
    බුදු හිමි තනිවිය බුදුකුටියේ...
    මල්දම් පළතුරු අඟිල් කපුරු මැද
    දෙව් රජු වැජඹේ දෙව් මැදුරේ...
    යදියන් පුදදෙන රුපියල් සත ගෙන
    රුපුන් නසාදී රැකවරණේ...
    දෙවියන් උපයන මුදලින් සුරැකෙයි
    බුදුන් දහම් සඟ තුන් සරණේ...

    පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
    සංගීතය - රෝහණ වීරසිංහ
    ගායනය - නන්දා මාලනී

    ReplyDelete
    Replies
    1. විභීෂණට මාත් මුලදිම කිව්වෙ ඒකනෙ සින්දුවා.
      ඒක නෙමේ මේ පැති වල කරක්ගහන්නැත්තෙ ඇයි දැන්?

      Delete
  19. රැකෙනා දෙසෙහි හැටි මෙහෙමද බුදු දහම......
    රස සරණිය කීවෙ ටිකයි
    තව කොච්චර දේ තියෙනවාද මේ වගේ
    තෙරුවන් සරණයි රස සරණියට!

    ReplyDelete
    Replies
    1. පොතක් ලිව්වෑකි මලයා...
      තෙරුවන් සරණයි සුපින්වත!

      Delete